ඉදිරි වසර තුනක කාලය තුළ සූර්යග්‍රහණ තුනකට මුහුණ දෙන ලෝකයේ එකම රට බවට ස්පාඤ්ඤය පත්ව තිබේ. 2026 වසරේ අගෝස්තු 12 වැනිදා උතුරු ස්පාඤ්ඤය හරහා ගමන් කරන පූර්ණ සූර්යග්‍රහණයකින් මෙම දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීම් මාලාව ඇරඹෙන අතර, ඉන් වසරකටත් අඩු කාලයකට පසුව, 2027 අගෝස්තු 2 වැනිදා දකුණු ස්පාඤ්ඤය හරහා තවත් පූර්ණ සූර්යග්‍රහණයක් දිස්වනු ඇත. මෙම පෙළගැස්ම 2028 ජනවාරි 26 වැනිදා දකුණු ස්පාඤ්ඤයට දර්ශනය වන ‘ගිනි වළල්ලක්’ වැනි වළයාකාර සූර්යග්‍රහණයකින් අවසන් වේ.
දින 532ක් වැනි කෙටි කාලයක් තුළ මෙවැනි ප්‍රධාන සූර්යග්‍රහණ තුනක් සිදුවීම ලෝකයේම අවධානය දිනාගෙන ඇති අතර, මෙය ස්පාඤ්ඤය ‘තාරකා සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට සමත් වී තිබේ. මෙම සිදුවීම් මාලාව ස්පාඤ්ඤයේ සංචාරක ක්ෂේත්‍රයට අතිවිශාල ප්‍රබෝධයක් ලබා දී ඇති අතර, ලොව පුරා තාරකා විද්‍යා ලෝලීන් මෙම අපූරු දසුන් දැක බලා ගැනීම සඳහා ස්පාඤ්ඤය බලා පැමිණීමට මේ වන විටත් සූදානම් වෙමින් සිටිති.
















