බරපතළ නීතිමය ගැටලුවක් සහ ලබැඳියාවන් අතර ගැටුමක අවදානමක් මතුවීම හේතුවෙන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට වාර්තා පළවීමත් සමඟ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගතව තිබේ. ලබන මස මුල් සතියේ ටැන්සානියාවේ පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු කමිටු රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව ඒ මහතා මෙම තීරණය ගනු ඇති බව සමාජ මාධ්‍ය හා දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙම අර්බුදයේ මූලික හරය වී ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශේෂ පරීක්ෂණයක් පවත්වාගෙන යනු ලබන පසුබිමක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස එම කොමිසමට නව කොමසාරිස්වරයෙකු පත් කිරීමේ ක්‍රියාවලියට නායකත්වය දීමට සිදුවීමයි. තමන්ට එරෙහිව පරීක්ෂණ පවත්වන ආයතනයකට නිලධාරීන් පත් කිරීමට දායක වීම අල්ලස් හෝ දූෂණ පනතේ විධිවිධාන අනුව දැඩි නීති විරෝධී තත්ත්වයක් මෙන්ම බරපතළ ‘ලබැඳියාවන් අතර ගැටුමක්’ (Conflict of Interest) ලෙස සැලකෙන බැවින්, ධුරයේ අඛණ්ඩව රැඳී සිටීම නීතිමය වශයෙන් අතිශයින් අවදානම් සහගත වී තිබේ.
මෙවැනි නීතිමය සංකූලතාවක් හමුවේ ඉදිරියේදී මතුවිය හැකි බරපතළ දඬුවම් සහ වරදකාරීත්වයන්ගෙන් මිදීම සඳහා කතානායකවරයාට ධුරයෙන් ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නොමැති වනු ඇතැයි නීති විශාරදයෝ පෙන්වා දෙති. මෙම තත්ත්වය හමුවේ රටේ උත්තරීතර ආයතනයක ප්‍රධානියාට මුහුණ දීමට සිදුව ඇති මෙම අර්බුදය ඉදිරි පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වයට දැඩි ලෙස බලපානු ඇති බවට පුරෝකථනය කෙරේ.














