27 April 2024
#දේශීය

ගෑස් ටැංකි පුපුරා යෑමේ සිද්ධීන් ගැන වන ප්‍රචාරයන් ගැන විමසීමට විශේෂ අමාත්‍යංශ උපදේශක කාරක සභාවක් කැඳවයි

සභානායක,අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවක් අනුව වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ, හදිසි උපදේශක කාරක සභාවක් අද (01) පෙරවරු 09.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් කිරීමට කථානායකවරයා අනුමැතිය ලබාදෙයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයෙ (30) දින පාර්ලිමේන්තුවේදී මෙම අනුමැතිය ලබා දෙමින් කියා සිටියේ මෙම උපදේශක කාරක සභාවට අදාළ වන සියලු ම පාර්ශවයන් කැඳවීම විෂය භාර අමාත්‍යවරයා විසින් සිදු කරනු ඇති බවයි.

ගෑස් සිලින්ඩර භාවිතයේදී පුපුරා යෑම පිළිබඳ ප්‍රචාරය වී ඇති වාර්තා සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් සභානායකවරයා වෙළඳ අමාත්‍යංශයේ හදිසි පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවක් පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළේය.

එහිදී සභානායක,අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ තේරීම් කාරක සභාවක් පිළිබඳ යෝජනාව ක්‍රියාත්මක කිරීම දීර්ඝ කාලීන ක්‍රියාවලියක් වන නිසා පළමු පියවර ලෙස වහාම අද (01) පෙරවරුවේ අමාත්‍යංශ උපදේශක කාරක සභාවක් කැඳවන ලෙසයි.

එහිදී සභානායකවරයා මෙසේද කියා සිටියේය, “ ගරු කථානායකතුමනි, මම හිතන්නේ මේක ඉතා බරපතළ ප්‍රශ්නයක් බව දෙපාර්ශවයම පිළිගන්නවා. මොකද මහජන ජීවීතවල ආරක්ෂාව තමයි පළවෙනි එක. එම නිසා , වහාම හෙට උදේ විශේෂ උපදේශක කාරක සභාවක් රැස් කරන ලෙසට ඔබතුමා නියෝගයක් ලබා දෙන්න, අමාත්‍යවරයාට සහ අදාළ බලධාරීන්ට, පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු සපයන්න කියලා. මම එම යෝජනාව ඉදිරිපත් කරනවා. තේරීම් කාරක සභාවක් පත් කිරීම දීර්ඝ කාලීන ක්‍රියාවලියක්. ඒ නිසා පළමු පියවර ලෙස අමාත්‍යංශයට අදාළව පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව රැස් කරමු. ගරු කථානායකතුමනි, ඔබතුමාට පුළුවන් එම නියෝගය දෙන්න. ඒ වගේ උපදේශක කාරක සභා මීට පෙර රැස්කර තිබෙනවා.”

විපක්ෂ නායකවරයා මතුකළ ප්‍රශ්නයට සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද පිළිතුරක් ලබා දුන් අතර අදාළ සියලු පාර්ශවයන් මෙම හදිසි උපදේශක කාරක සභාවට කැඳවන බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම එහි සමාජිකයන් නොවුනද අවශ්‍යනම් පාර්ලිමේන්තුවේ අනෙකුත් මන්ත්‍රීවරුන්ට ඊට සහභාගී වන ලෙසටද ඔහු ආරාධනා කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *