දෙනියාය ප්‍රදේශයේ පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයට පැමිණීමට නියමිත බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සුමිත් මනතුංග මහතා ප්‍රකාශ කරයි. පවතින රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත දෙනියාය කලාපයේ ප්‍රධාන පාසල් හතරක් ඊයේ (07) සහ අද (08) යන දිනවල වසා තැබීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාව පියවර ගෙන තිබේ. මෙලෙස තාවකාලිකව වසා දමා ඇත්තේ දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්වි භාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය යන පාසල් ය.
අදාළ පාසල්වල සිසුන් මෙන්ම ගුරුවරුන් අතර ද රෝගී තත්ත්වය ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, කෙසේ වෙතත් මෙය මෙතෙක් වසංගත තත්ත්වයක් දක්වා උත්සන්න වී නොමැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. දකුණු පළාත් අධ්‍යාපන ලේකම් එන්.කේ.ආර්. පතිරණ මහතා සඳහන් කළේ සෞඛ්‍ය විශේෂඥයින් ලබාදෙන උපදෙස් සහ පවතින වාතාවරණය සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඉදිරියේදී පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණය කරන බවයි. පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග දැනටමත් සෞඛ්‍ය අංශ විසින් ගෙන ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සහතික කර සිටියි.














