ක්‍රීඩා ඔට්ටු ඇල්ලීම (Sports gambling) මේ වන විට ඇමෙරිකාවේ වේගයෙන්ම වර්ධනය වන භයානක ඇබ්බැහියක් බවට පත්වෙමින් තිබුණද, එරට ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ඒ පිළිබඳව ප්‍රමාණවත් පරිදි කරුණු අනාවරණය නොකරන බව වාර්තා වේ. සිය විශ්වවිද්‍යාල සමයේදී මත්ද්‍රව්‍ය හා ක්‍රීඩා ඔට්ටු ඇල්ලීමට දැඩි ලෙස ඇබ්බැහි වීම හේතුවෙන් තමන් සතු ව්‍යාපාරය, මිලියන ගණනක ධනය මෙන්ම පවුල පවා අහිමි කරගැනීමේ අවදානමකට මුහුණ දුන් ලුවී රුගීරියෝ (Louis Ruggiero) නැමැත්තා, වසර හතරක කාලයක සිට ඉන් මුළුමනින්ම මිදී වත්මන් සමාජය දැනුවත් කිරීමේ කටයුතුවල නිරතව සිටී. ඔහු විසින් කිසිදු වාරණයකින් තොරව ඇබ්බැහිකම් පිළිබඳ සත්‍ය තොරතුරු සමාජගත කරන “Nothing’s Off The Table” පෝඩ්කාස්ට් (Podcast) වැඩසටහන සඳහා මේ වන විට ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු වන ඇන්තනි පොම්ප්ලියානෝ (Anthony Pompliano) ගේ මූල්‍ය දායකත්වය ලැබී ඇත්තේ මාධ්‍ය නාලිකාවල නිරන්තරයෙන් පළවන ඔට්ටු ඇල්ලීමේ දැන්වීම් ප්‍රචාරණයට එරෙහිව පියවරක් වශයෙනි. දැනට ඇමෙරිකානු ඩොලර් බිලියන 100ක වටිනාකමකින් යුත් ක්‍රීඩා ඔට්ටු ඇල්ලීමේ කර්මාන්තය ඉදිරි වසර හතර තුළ ඩොලර් බිලියන 250ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, මෙවැනි සූදූ ක්‍රීඩා සම්පූර්ණයෙන්ම තහනම් කරනවාට වඩා ජංගම දුරකථන හරහා ඊට අසීමිතව ඇබ්බැහි වී ස්වයං පාලනයක් නොමැතිව විනාශ වන පුද්ගලයන් බේරාගැනීම කෙරෙහි සමාජයීය අවධානය යොමුකළ යුතු බව විද්වතුන් පෙන්වා දෙති.














