ශ්‍රී දළදා සමිඳුන් උදෙසා දෛනිකව සිදු කෙරෙන සම්ප්‍රදායානුකූල තේවා රාජකාරී කටයුතු මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් අස්ගිරි මහා විහාර පාර්ශ්වය වෙත පැවරීම අද (30) දින චාරිත්‍රානුකූලව සිදුවිය.
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහානායක හිමිපාණන් වහන්සේ සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
රජ දවස පටන් පැවත එන ගෞරවනීය චාරිත්‍රයක් ලෙස සෑම වසරකම ඇසළ පුන් පොහෝ දිනට පසුදින මෙම තේවා මාරුව සිදු කෙරෙන අතර, මෙවර තේවා කටයුතු භාරගත් අස්ගිරි පාර්ශ්වය විසින් ලබන වසරේ ඇසළ පුන් පොහෝ දින දක්වා ශ්‍රී දළදා සමිඳුන්ගේ තේවා කටයුතුවල භාරකාරිත්වය දරනු ලබයි. මෙහිදී තේවා කටයුතු සඳහා භාවිත කරන රන් කෙන්ඩි ඇතුළු පූජා භාණ්ඩ ලැයිස්තුව නව තේවා භාර ස්වාමින්වහන්සේලා සහ දියවඩන නිලමේවරයාගේ මූලිකත්වයෙන් පරීක්ෂා කිරීමද සිදු විය.














