ලබන 2027 වසරේ සිට රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ නව විධිවිධාන සහ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමි විය.
මෙම නව චක්‍රලේඛය සකස් කර ඇත්තේ අධ්‍යාපනය සඳහා සමසාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු කිරීම, පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම සහ සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවන අක්‍රමිකතා අවම කිරීමේ අරමුණෙනි.
මෙම ක්‍රියාවලිය සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරීන්ගේ අදහස් හා යෝජනා ලබාගෙන ඇති අතර, දැනට ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද සැලකිල්ලට ගෙන තිබේ. ඉදිරියේදී එක් එක් වර්ෂයට අදාළව මෙම චක්‍රලේඛ උපදෙස් අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සිදු කෙරෙනු ඇත.
















