අස්වැසුම ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීමේ වැඩසටහන් වේගවත් කිරීමට රජය පියවර ගනිමින් සිටී. වසර පහක් තුළ සවිබලගැන්වීමට සුදුසු අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීම ඉලක්ක කර ඇති අතර, සමෘද්ධි බැංකු පද්ධතිය සහ විවිධ ණය හා ජීවනෝපාය වැඩසටහන් ඒ සඳහා යොදාගැනීමට සැලසුම් කර තිබේ.
ප්‍රජා සවියට නව බලයක් වැඩසටහන යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයින් 21,000කට ආසන්න පිරිසක් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක්ද ක්‍රියාත්මක කර ඇත. රජයේ නිල තොරතුරු අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව සමෘද්ධි බැංකු 430ක්, බැංකු ශාඛා 1,097ක් සහ බැංකු සංගම් මූලස්ථාන 333ක් පවතින අතර, එහි මූල්‍ය වත්කම් රුපියල් බිලියන 800 ඉක්මවයි.
මේ අතර සමාජ ආරක්ෂණය, රැකියා හා ජීවනෝපාය අවස්ථා ඇතුළු ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක සහනදායී ණයක් යටතේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. කැබිනට් තීරණය අනුව එම වැඩසටහන 2026 නොවැම්බර් සිට දිස්ත්‍රික්ක හයක ක්‍රියාත්මක කිරීමට නියමිතය.














