හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර ලැබීම සඳහා 2025 වසරේදී පුද්ගලයන් මිලියන 1.5ක් රෝහල්ගත වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණ සහ කළමනාකරණ අංශ ප්‍රධානී, ප්‍රජා විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා අනාවරණය කරයි. රෝහල්ගත වන සෑම පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකුම අනතුරක් නිසා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් කරා පැමිණෙන බව ද ඒ මහතා පෙන්වා දෙයි. ඊයේ (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරයා මෙම දත්ත අනාවරණය කළේය.
උත්සව සමයේ අනතුරු ඉහළ යාම
සෑම වසරකදීම සිංහල හා දෙමළ අලුත් අවුරුදු සති දෙක තුළ අනතුරු නිසා රෝහල්ගත වීම්වල සැලකිය යුතු ඉහළ යාමක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සාමාන්‍ය සතියකදී හදිසි අනතුරු නිසා රජයේ රෝහල්වලට 25,000ක් පමණ පිරිසක් ඇතුළු වන අතර අවුරුදු සමය තුළ එම අගය 30,000 දක්වා ඉහළ යන බව වාර්තා වේ.
වැඩිපුරම වාර්තා වන අනතුරු
අලුත් අවුරුදු සතිය තුළ සහ ඊට පසු සතිය තුළ ප්‍රධාන වශයෙන් මාර්ග අනතුරු, වැටීම්, සතුන් සපා කෑම් සහ පහර කෑම් යන අනතුරු වර්ග ඉහළ යන බව හඳුනාගෙන තිබේ. පසුගිය අප්‍රේල් 08 වැනිදා සිට 20 වැනිදා දක්වා කාලය තුළ මෙම අනතුරු සහ පහරදීම්වල ඉහළ යාමක් දක්නට ලැබුණු බව වෛද්‍ය සමිත සිරිතුංග මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















