ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රතීතන ආයතන (Accreditation Bodies) නියෝජිතයන් සඳහා වන සතියක ධාරිතා වර්ධන වැඩසටහනක් සාර්ථකව පැවැත්වීමට ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) පියවර ගෙන තිබේ.
මෙම වැඩසටහනට සමගාමීව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ ගෝලීය ප්‍රතීතන සහයෝගිතාවයේ (GLOBAC ACI) සමාරම්භක සභාපති බ්‍රහීම් හවුලා (Brahim Houla) මහතා අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙහිදී ලැබුණු විශේෂම ඇගයීම වන්නේ, ජූනි 09 වැනිදා ‘එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ප්‍රතීතන දිනය’ ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන යෝජනාවට සම-අනුග්‍රහය දක්වන රටක් ලෙස එක්වන ලෙස ශ්‍රී ලංකාවට නිල වශයෙන් ආරාධනා කිරීමයි. මෙමඟින් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකේය නිෂ්පාදන සහ සේවාවන්හි විශ්වසනීයත්වය හා පිළිගැනීම තවදුරටත් ඉහළ යනු ඇත.
මෙම අවස්ථාවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.














