වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 2026 වසරේ ප්‍රගතිය සහ 2027 වසරේ අයවැය ප්‍රතිපාදන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්‌යාලයේදී පැවැත්විණි. වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ඇතුළු ඒ යටතේ පවතින ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම (AASL) සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම (SLA) ඇතුළු අනුබද්ධ ආයතන රැසක ක්‍රියාකාරිත්වය මෙන්ම 2027 අයවැය යෝජනා පිළිබඳව ද මෙහිදී දීර්‌ඝ ලෙස විමසා බලනු ලැබීය. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඉන්දීය රජයේ ආධාර මත ක්‍රියාත්මක කන්කසන්තරේ වරාය ප්‍රතිසංස්කරණය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක වත්මන් තත්ත්වය ද ජනාධිපතිවරයාගේ සෘජු නිරීක්ෂණයට ලක් විය.
මෙහිදී වසර 2055 වන විට වාර්‌ෂික මගී ධාරිතාව මිලියන 24.2ක් දක්වා ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාවට නැංවෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කාර්‌යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්ම පිළිබඳව නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී. ඒ අනුව, 2027 වසර තුළ ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ පවතින පැමිණීමේ සහ පිටවීමේ පර්‌යන්ත පුළුල් කිරීම ඇතුළු ඩිජිටල්කරණ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇත. මේ අතර, මත්තල ගුවන්තොටුපොළ වසරකට රුපියල් බිලියන 4ක පමණ අලාභයක් ලබන බව මෙහිදී අනාවරණය වූ අතර, එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා වසර 2027 වන විට ආයෝජන ව්‍යාපෘති අවසන් කිරීමට විකල්ප යෝජනා ඉදිරිපත් කෙරිණි. හිඟුරක්ගොඩ සහ යාපනය වැනි අභ්‍යන්තර ගුවන්තොටුපොළවල් සංවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කෙරුණි.
















