ශ්‍රී ලංකාවේ සීනි පරිභෝජනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති මට්ටමට වඩා ඉතා ඉහළ අගයක පවතින බව වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ පුද්ගලයෙකු වසරකට සීනි කිලෝග්‍රෑම් 22 සිට 24 දක්වා පමණක් පරිභෝජනය කළ යුතු බව වුවද, ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල සීනි පරිභෝජනය කිලෝග්‍රෑම් 32 සිට 34 දක්වා ඉහළ අගයක් ගන්නා බව තහවුරු වී ඇත.
රටේ මුළු වාර්ෂික සීනි පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 6.5 ක් පමණ වන අතර, ඉන් 90% කට වැඩි ප්‍රමාණයක් ආනයන හරහා සපුරා ගනු ලබයි. මෙරට දේශීය සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 56,000 ක් පමණක් වන අතර එය සමස්ත පරිභෝජනයෙන් 8% සිට 10% දක්වා ප්‍රමාණයක් පමණි. සීනි ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 110 ක් වැය වන බැවින්, දේශීය නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මේ වන විට නව ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
අධික සීනි පරිභෝජනය හේතුවෙන් බර වැඩිවීම, තරබාරුකම, දෙවන වර්ගයේ දියවැඩියාව, දත් දිරායාම, හෘද රෝග, මේද අක්මා රෝග, අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් වැනි බරපතළ රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. මීට අමතරව ඉන්සියුලින් ප්‍රතිරෝධය, සමේ ගැටළු, ආහාර ජීර්ණ ගැටළු, මනෝභාවය වෙනස්වීම් සහ වකුගඩු ආබාධ ඇතිවීමේ අවදානමද මෙලෙස සීනි අධිකව ආහාරයට ගැනීමෙන් සිදුවිය හැකි බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
















