ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන ක්ෂේත්‍රය වන ඇඟලුම් අංශය දැඩි අභියෝග රැසකට මුහුණ දී සිටින බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAFSL) නිකුත් කළ වෙළඳ දත්ත මඟින් අනාවරණය වේ.
ඒ අනුව, 2026 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ රෙදිපිළි සහ ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 416.25ක් දක්වා සියයට 8.55කින් පහළ ගොස් තිබේ. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මෙරට විශාලතම අපනයන වෙළඳපොළ වන ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සිදුකළ අපනයන පසුගිය වසර පහක කාලය තුළ වාර්තා වූ අවම අගය දක්වා අඩුවීමය. ඇමෙරිකානු වෙළඳපොළ වෙත කළ අපනයන අගය ජූලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 167.18ක් දක්වා සියයට 6.22කින් පහළ ගොස් ඇති අතර, ජනවාරි-ජූලි සමුච්චිත අපනයන අගය ද වසර පහක අවම මට්ටමකට වැටී ඇත.
මීට අමතරව, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ අනෙකුත් වෙළඳපොළ වෙත සිදුකළ අපනයන ද පසුගිය වසරට සාපේක්ෂව සියයට 8.41කින්, 6.72කින් සහ 15.67කින් අඩුවී තිබේ. මෙම තත්ත්වයට බලපා ඇති ප්‍රධාන හේතු ලෙස සැලකෙන්නේ, ඇමෙරිකාව විසින් පනවන ලද තීරුබදු පිළිබඳව (US Section 301) වසරේ මුල් භාගය පුරා පැවති දීර්ඝ අවිනිශ්චිතතාවය, ඇමෙරිකානු පාරිභෝගිකයන්ගේ උද්ධමන ගැටලු සහ දුර්වල මනෝභාවයන් හේතුවෙන් ඇඟලුම් සඳහා ඇති ඉල්ලුම අඩුවීම, රුසියානු-යුක්‍රේන යුද්ධය සහ මැදපෙරදිග අස්ථාවරත්වය හේතුවෙන් ගෝලීය වශයෙන් ඇඟලුම් අතිරික්තයක් නිර්මාණය වීම මෙන්ම අමෙරිකාවට යවන භාණ්ඩ සඳහා බලපැවැත්වෙන බලහත්කාර ශ්‍රමයට එරෙහි රෙගුලාසි හරහා සැපයුම් දාමයට එකතු වී ඇති අතිරේක අනුකූලතා බරයි.
මෙම අභියෝග හමුවේ ‘හෙලා අප්පෙරල් හෝල්ඩින්ග්ස්’ (Hela Apparel Holdings) සමාගම ඈවර කිරීමේ (Liquidation) කටයුතුවලට යොමුවීම ඇතුළු කරුණු මඟින් පෙන්නුම් කෙරෙන්නේ මෙරට ඇඟලුම් කර්මාන්තය මතුපිට පෙනෙන සංඛ්‍යාලේඛනවලට වඩා ගැඹුරු අර්බුදයකට මුහුණ දී සිටින බවයි.
















