ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීම අරමුණු කරගත් නව පනත් කෙටුම්පතට, ඇතැම් වගන්ති සංශෝධනය කිරීමේ කොන්දේසි සහිතව රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ කාරක සභාවේදී මෙම පනත් කෙටුම්පත සහ ඊට අදාළ යෝජිත සංශෝධන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
සුනඛයන්ට ජලභීතිකා එන්නත් ලබාදීම, සුනඛ ගහනය පාලනය කිරීම, වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කිරීම නියාමනය කිරීම සහ සුනඛ ලියාපදිංචිය විධිමත් කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්රධාන අරමුණු අතර වේ. ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ජාතික හා ප්රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම ද ඊට ඇතුළත්ය.
වීදි සුනඛයන්ට ස්වේච්ඡාවෙන් ආහාර ලබාදෙන හෝ රැකවරණය සලසන පුද්ගලයන්, එම ක්රියාව පමණක් හේතුවෙන් සුනඛයන්ගේ නීත්යනුකූල හිමිකරුවන් ලෙස සැලකීම වැළැක්වීම සඳහා නීතිමය විධිවිධාන පැහැදිලි කිරීමේ අවශ්යතාව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
එමෙන්ම සුනඛයන්ට පළමු ජලභීතිකා එන්නත ලබාදිය යුතු වයස පිළිබඳ විධිවිධාන පැහැදිලි කිරීම, පශු වෛද්ය අධීක්ෂණය යටතේ වන්ධ්යාකරණය සිදු කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ වගකීම් පැහැර හැරීම සම්බන්ධ දඩ මුදල් සංශෝධනය කිරීම පිළිබඳව ද අවධානය යොමු කර ඇත.
වාණිජ සුනඛ අභිජනන මධ්යස්ථාන නියාමනය ශක්තිමත් කිරීම, සත්ව හිංසනය වැළැක්වීම සඳහා දඬුවම් සංශෝධනය කිරීම සහ ජලභීතිකාව වැළඳී ඇතැයි සැක කරන සුනඛයන් සම්බන්ධයෙන් විධිමත් පශු වෛද්ය පරීක්ෂණ ක්රමවේදයක් අනුගමනය කිරීමේ වැදගත්කම ද කාරක සභාවේදී සාකච්ඡා වී තිබේ.
මෙම පනත් කෙටුම්පත මඟින් දැනට ක්රියාත්මක ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත වෙනුවට නව නීතිමය රාමුවක් හඳුන්වාදීමට ද අපේක්ෂා කෙරේ.













