ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාරදී ඇති බවට වාර්තා ttv වෙත වාර්තාවේ.
මේ වන විට සංගමයට සභාපතිවරයෙකු හෝ ලේකම්වරයෙකු නොමැති අතර, භාණ්ඩාගාරිකවරයා ද තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට තොරතුරු ලැබෙමින් පවතිනවා. ප්‍රධාන නිලධාරීන් තිදෙනාම නොමැති පසුබිමක, නිලවරණයකින් තොරව හිටපු බලධාරීන් පිරිසක් තවදුරටත් සංගමයේ බලය අත දරාගැනීම නීත්‍යානුකූලද යන්න පිළිබඳව ක්‍රීඩකයින් සහ ක්‍රීඩා ලෝලීන් දැඩි ලෙස ප්‍රශ්න කරනවා.
ක්‍රීඩා පනතට සහ ආයතනික ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන නිලධාරීන් ඉල්ලා අස්වූ විට පාලක සභාවේ වලංගුභාවය අහෝසි වන අතර, වහාම අතුරු කමිතුවක් පත් කිරීම හෝ නිලවරණයක් කැඳවීම සිදුවිය යුතුයි. එසේ තිබියදීත්, කිසිදු නිල බලයක් හෝ ඡන්ද පදනමක් නොමැති පැරණි නිලධාරීන් පිරිසක් දිගින් දිගටම තීරණ ගැනීම සහ අරමුදල් පාලනය කිරීම බරපතල නීති විරෝධී ක්‍රියාවක් ලෙසයි සැලකෙන්නේ.
තෑගි මුදල් අර්බුදය, ප්‍රවේශ ගාස්තු සූරාකෑම සහ ක්‍රීඩකයින්ට එල්ලවන තර්ජන හමුවේ නායකත්වය පවා අතහැර පලා යන බලධාරීන්ගේ මෙම ක්‍රියාකලාපය හමුවේ, ක්‍රීඩාව මුළුමනින්ම විනාශ වීමට පෙර වහාම අතුරු කමිටුවක් පත්කර පූර්ණ විගණනයක් සිදුකිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවයි පාර්ශ්ව රැසක් අවධාරණය කරන්නේ.
තනතුරුවලින් ඉල්ලා අස්වී සිටියදීත්, ඡන්දයක් නැතුව පැරණි නිලධාරීන් තවදුරටත් බැඩ්මින්ටන් සංගමය පාලනය කිරීම සාධාරණ නොවන බව ක්‍රීඩාලෝලීන් ගේ සහ ක්‍රීඩා පරිපාලකයන්ගේ අදහස වී ඇත.














