අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක (රුපියල් බිලියන ගණනක) මුදලක් නීතිවිරෝධී ලෙස රටින් පිටකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා ඊයේ (17) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අදාළ පෞද්ගලික බැංකු තුළදීම මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙවැනි අත්අඩංගුවට ගැනීමක් මෙරට සිදුවූ පළමු අවස්ථාව මෙය බව පොලිසිය පවසයි.
මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව අවස්ථා 199කදී සිදුකර ඇති බවත්, භාණ්ඩ ආනයනය කරන බව පවසමින් ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් (TT) ක්‍රමය හරහා සමාගම් 36ක් යොදා ගනිමින් මෙම ගනුදෙනු සිදුකර ඇති බවත් රජයේ අධිනීතිඥවරයා අධිකරණයේදී ප්‍රකාශ කළේය. එලෙස යවන ලද මුදල්වලට අදාළව කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය කර නොමැති බව රේගු වාර්තා මඟින් තහවුරු වී ඇති අතර, මෙම ක්‍රියාවෙන් රටේ විදේශ විනිමය සංචිතයට සහ ආර්ථිකයට දැඩි හානියක් සිදුව තිබේ.
සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ජිෆ්රි මොහොමඩ් නමැත්තා මාස තුනකට අධික කාලයක් සැඟවී සිටීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති අතර, බැංකු නිලධාරීන් ලෙස තමන්ට පැවරී තිබූ බලය සහ මහජන විශ්වාසය අයථා ලෙස භාවිත කරමින්, KYC (Know Your Customer) නීති-රීති උල්ලංඝනය කරමින් සැකකරුවන් මෙම අපරාධයට සහය වී ඇත. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඔවුන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් කරුණු දක්වා සිටි අතර, වැඩිදුර විමර්ශන සඳහා නඩුව ලබන 20 වැනිදා යවත කැඳවීමට නියමිතය.














