ශ්‍රී ලංකාව සතු වටිනා ඛනිජ සම්පත් කිසිදු පිරිසැකසුමකින් තොරව හුදු අමුද්‍රව්‍ය ලෙස පමණක් අඩු මිලට විදේශ රටවලට අපනයනය කිරීමේ පැරණි ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කිරීමට රජය තීරණය කර තිබේ. නව ඛනිජ ප්‍රතිපත්තිය යටතේ මෙරට ඛනිජ සම්පත් සූරාකෑම වැළැක්වීම සහ දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම දැඩි තීන්දුව ගෙන ඇත.
රජයේ මීළඟ ප්‍රධානතම ඉලක්කය වන්නේ මෙරටින් හමුවන ඉහළ වටිනාකමකින් යුත් ඛනිජ සම්පත් සඳහා ශ්‍රී ලංකාව තුළදීම නව තාක්ෂණය භාවිත කරමින් අගය එකතු කිරීමක් (Value Addition) සිදු කිරීමයි. ඉන් අනතුරුව නිමි හෝ අර්ධ නිමි භාණ්ඩ ලෙස ඒවා ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කිරීමට අවශ්‍ය කර්මාන්තශාලා සහ යටිතල පහසුකම් රට තුළ ස්ථාපිත කිරීමට මින් ඉදිරියට කටයුතු කෙරෙනු ඇත.
මෙම නව උපායමාර්ගික වෙනස හරහා දේශීය ඛනිජ සම්පත්වලින් රටට හිමිවිය යුතු උපරිම ආර්ථික ප්‍රතිලාභ සහ විදේශ විනිමය උපයා ගැනීමට රජය අපේක්ෂා කරයි. එමෙන්ම මේ හරහා මෙරට තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා රැසක් උදාවන අතරම, ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ඛනිජ නිෂ්පාදනයන්ට ඉහළ ඉල්ලුමක් සහ අනන්‍යතාවක් ගොඩනැඟීමට ද හැකිවනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
















