නිසි ප්‍රමිතියෙන් තොර LED බල්බ් ආනයනය කිරීම, ගබඩා කිරීම සහ අලෙවි කිරීම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් තහනම් කර තිබේ. මෙවැනි බල්බ් අලෙවි කරනු ලබන පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව එම අධිකාරිය නිවේදනය කරයි.
2020 මැයි 28 දින නිකුත් කළ අංක 2177/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව, වොට් 60ක් හෝ ඊට අඩු LED බල්බ්වල අසුරන කවරය, දවටනය හෝ පෙට්ටිය මත ‘අවම බලශක්ති කාර්ය සාධන ලේබලය’ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වේ. මෙම ලේබලය නොමැති බල්බ් අලෙවි කිරීම සපුරා තහනම් වන අතර, රට පුරා මෙවැනි ප්‍රමිතියෙන් තොර බල්බ් අලෙවි කරන ස්ථාන වැටලීමට පියවර ගෙන ඇති බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසයි.
විවිධ ප්‍රදේශවලින් ලැබී ඇති පැමිණිලි මත මෙම පියවර ගෙන ඇති අතර, ප්‍රමිතියෙන් තොර බල්බ් මිලදී ගැනීමෙන් වළකින ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















