පාකිස්තානයේ රාවල්පින්ඩිහි පැවැති තෙවැනි විස්සයි20 ජාත්යන්තර තරගයෙන් පාකිස්තානය කඩුලු 8කින් පරාජය කරමින් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම අද (13) සමත් විය.
පාකිස්තානය ලබාදුන් ලකුණු 169ක ඉලක්කය හඹා ගිය ශ්රී ලංකාව පන්දුවාර 17යි පන්දු 1ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 172ක් රැස් කරමින් ජය තහවුරු කළේය.
ශ්රී ලංකා ඉනිමේ කැපී පෙනෙන දක්ෂතාව දැක්වූ නායක කුසල් මෙන්ඩිස් පන්දු 48කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 87ක් රැස් කළේය. කමින්දු මෙන්ඩිස් පන්දු 27කදී නොදැවී ලකුණු 40ක් ලබාගත් අතර, සිනෙත් ජයවර්ධන පන්දු 26කදී ලකුණු 38ක් රැස් කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් ලබාගත්තේය. පාකිස්තාන නායක සහිබ්සාදා ෆර්හාන් පන්දු 47කදී ලකුණු 76ක් රැස් කළ අතර, අරාෆත් මින්හාස් පන්දු 20කදී නොදැවී ලකුණු 34ක් ලබාගත්තේය.
පන්දු යැවීමේදී දසුන් ශානක ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් අතර, නුවන් තුෂාර සහ එෂාන් මාලිංග කඩුලු 2 බැගින් බිඳහෙළූහ.
මෙම ජයත් සමඟ තෙවැනි තරගය ශ්රී ලංකාව ජයගත්තද, පළමු තරග දෙක පාකිස්තානය ජයගෙන තිබූ බැවින් තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය පාකිස්තානයට හිමි විය.
















