මෙරට විදුලි බල පද්ධතිය නවීකරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘති (BESS) සඳහා ජාත්‍යන්තර ආයතනවල මූල්‍ය සහයෝගය මෙන්ම පෞද්ගලික අංශයේ දැවැන්ත ආයෝජන රැසක් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට වත්මන් රජය සමත්ව තිබේ.
ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් කොළොන්නාව බැටරි ගබඩා ව්‍යාපෘතිය (100 MW/100 MWh) සහ දකුණු කලාපීය මහා පරිමාණ ව්‍යාපෘතිය (100 MW/400 MWh) සාර්ථකව නිම කිරීම සඳහා අවශ්‍ය සුවිශේෂී ණය සහ ප්‍රදාන ආධාර ලබා දී තිබේ. මීට අමතරව, දකුණු කොරියානු රජයෙන් ලැබුණු විශේෂ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රදානයක් ලෙස හම්බන්තොට ප්‍රදේශයේ මෙගාවොට් පැය 10ක (10 MWh) ධාරිතාවයකින් යුත් බැටරි ගබඩා පද්ධතියක් ද මේ වන විට සාර්ථකව ඉදිකර අවසන් කර ඇත.
විදේශීය ආධාරවලට අමතරව, දේශීය සහ විදේශීය පෞද්ගලික අංශයේ සෘජු ආයෝජන ද මෙම ක්ෂේත්‍රයට දායක කර ගැනීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව පෞද්ගලික අංශයේ පූර්ණ මූල්‍ය ආයෝජන මත ක්‍රියාත්මක වන මෙගාවොට් 250ක ස්වාධීන (Standalone) බලශක්ති ව්‍යාපෘතියක් සහ මෙගාවොට් 160ක (640 MWh) තවත් දැවැන්ත ව්‍යාපෘතියක් ඉදිරියේදී මෙරට තුළ ක්‍රියාත්මක වීමට සියල්ල සූදානම් කර ඇත.
















