වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මෙවර ජූලි 3 වනදා සිට ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. සාමාන්‍යයෙන් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සෑම වසරකම ජූලි 1 වනදා සිදු කෙරුණද, මස මුලදී සිදුවීමට නියමිත මාසික ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව ද අවධානය යොමු කරමින් මෙම නව දිනය තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් මේ වන විට අනෙකුත් බස් සංගම් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඔහු පවසයි.
ඉදිරි ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල අඩු වුවද, ඉදිරි මාස හයක කාලයක් සඳහා බස් ගාස්තු අඩු කිරීමට පෞද්ගලික බස් හිමියන්ගේ කිසිදු අදහසක් නොමැති බව විජේරත්න මහතා අවධාරණය කරයි. බස් කර්මාන්තය මේ වන විට බරපතළ අර්බුදයක පවතින බවත්, ජූනි 1 වනදා සිට මේ දක්වා කාලය තුළ ඩීසල් ලීටරයකින් රුපියල් 25ක පමණ අලාභයක් ලැබීම හේතුවෙන් කර්මාන්තයට බිලියන ගණනක අලාභයක් සිදුව ඇති බවත් ඔහු පැවසීය. එම අලාභයන් පියවා ගැනීමට කර්මාන්තයට යම් කාලයක් අවශ්‍ය බවත්, ඉන්ධන මිල අඩු වූ පමණින් වහාම බස් ගාස්තු අඩු කළ යුතු බවට කිසිදු ප්‍රතිපත්තිමය විධිවිධානයක් නොමැති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















