ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහා ඊ-විදේශගමන් බලපත්‍ර (e-passport) හඳුන්වා දීමේ ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට රජය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා පවසයි.
මේ පිළිබඳව දැනුම් දෙමින් ආගමන හා විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතා විසින් 2026 මැයි 29 වැනි දින අදාළ ලංසුකරුවන් වෙත විද්‍යුත් තැපෑල ඔස්සේ නිල දැනුම්දීමක් සිදුකර තිබේ. අමාත්‍ය මණ්ඩලයේ නියෝගයක් මත මෙම තීරණය ගෙන ඇති බව එම ලිපියේ දැක්වේ.
පසුගිය වසරේදී මෙම ව්‍යාපෘතිය සඳහා ලංසු කැඳවීම සිදුකළද, පසුව ලංසු දිනා ගැනීමට අපොහොසත් වූ පාර්ශව කිහිපයක් විසින් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය (PAB) වෙත අභියාචනා ඉදිරිපත් කර තිබුණි. 2026 ජනවාරි මාසයේදී එම අභියාචනා විභාග කිරීමෙන් අනතුරුව, අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැවත සමාලෝචනයට ලක් කෙරිණි.
අදාළ ලිපිය මඟින්, මෙම ක්‍රියාවලිය සඳහා ලංසුකරුවන් දැක්වූ උනන්දුව සහ ඔවුන් විසින් වැය කළ කාලය සහ ශ්‍රමය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අගය කරන බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.
















