දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (IRD) නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචනික ගෙවීම් සබැඳි (Links) හරහා බදු ගෙවන්නන් රවටා මුදල් ලබා ගැනීමේ වංචනික ක්‍රියාවලියක් පිළිබඳව ශ්‍රී ලංකා CERT ආයතනය ජනතාවට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. මෙම වංචාව පිළිබඳව තොරතුරු අනාවරණය වූයේ ව්‍යාපාරිකයෙකුට ලැබුණු දුරකථන ඇමතුමකින් පසුවය.
“0113”න් ආරම්භ වන දුරකථන අංකයකින් ඇමතුමක් ලබාගත් පුද්ගලයෙක් තමන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් අමතන බව පවසා ඇත. ව්‍යාපාරිකයාගේ නම පවසමින් ඔහුගේ බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංකය (TIN) ඉල්ලා ඇති අතර, බදු නොගෙවීම හේතුවෙන් වහාම ගෙවීමක් නොකළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කර ඇත. ගෙවීම පහසු කිරීම සඳහා බව පවසමින් ව්‍යාපාරිකයාගේ WhatsApp අංකය හෝ විද්‍යුත් තැපෑල වෙත ව්‍යාජ ගෙවීම් සබැඳියක් එවන බව දන්වා ඇත. කෙසේ වෙතත්, එවැනි ගෙවීම් ක්‍රමයක් පිළිබඳ දැනුමක් නොතිබූ ව්‍යාපාරිකයා සැක සිතා ඇමතුම විසන්ධි කර ඇත.
පසුව එම අංකයටම නැවත ඇමතුම් ලබා දී ඇති වංචාකරුවා නීතිමය ප්‍රතිවිපාකවලින් බේරීමට වහාම ගෙවීම් කරන ලෙස බලපෑම් කරමින් වඩාත් ආක්‍රමණශීලී ලෙස හැසිරී ඇත. ව්‍යාපාරිකයා එම ඇමතුම් නොසලකා හරිමින් ශ්‍රී ලංකා CERT වෙත සිද්ධිය වාර්තා කර ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කිසිවිටෙකත් බදු ගෙවන්නන්ට මෙවැනි ගෙවීම් සබැඳි යවන්නේ නැති බව විමර්ශනවලදී තහවුරු වී ඇත. බදු ගෙවීම් සිදු කළ හැක්කේ බලයලත් බැංකු මාර්ග සහ නිල ක්‍රියා පටිපාටි ඔස්සේ පමණි. ව්‍යාජ සබැඳි ක්ලික් කිරීම හරහා පුද්ගලික තොරතුරු සොරකම් කිරීමට සහ මුදල් වංචා කිරීමට හැකි බවට ශ්‍රී ලංකා CERT අනතුරු අඟවයි. එමනිසා, රජයේ ආයතනයක නමින් ලැබෙන ඇමතුම්වල සත්‍යතාව තහවුරු කර ගන්නා ලෙසත්, TIN අංක වැනි සංවේදී පුද්ගලික බදු තොරතුරු නාඳුනන පුද්ගලයින්ට ලබා නොදෙන ලෙසත් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. බදු සම්බන්ධ තොරතුරු ලබා ගත යුත්තේ නිල නාලිකා ඔස්සේ පමණි.
















