ස්වභාවික ආපදාවලට වඩා දුර්වල අධිකරණ පද්ධතියක් පැවතීමෙන් රටක් ඉතා කෙටි කාලයකින් විනාශ විය හැකි බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පවසයි. එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් ජාත්‍යන්තර ආධාර හෝ සහාය මගින් පමණක් රට යථා තත්ත්වයට පත් කිරීම අසීරු බව ද අගවිනිසුරුවරයා අවධාරණය කරයි.
ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ නව මහේස්ත්‍රාත්වරුන් සඳහා ඊයේ (02) පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගවිනිසුරුවරයා, විනිසුරුවරුන් ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන බවත් එම බලය ජනතාවගේ යහපත උදෙසාම භාවිත කළ යුතු බවත් සිහිපත් කළේය.
“විනිසුරුවරුන් වශයෙන් ඔබ මේ අසුනේ ඉඳගෙන ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ අධිකරණ බලයයි. ඔබ ඒ බලය ඔබේ නිවසින් රැගෙන එන්නේ නැහැ. අප ඔබට ඒ බලය ලබා දෙන්නෙත් නැහැ. අධිකරණ සේවා කොමිෂන් සභාව ඔබට බලය ලබා දෙන්නේ නැහැ. එසේ නම් ඔබට බලය ලබා දෙන්නේ කවුද? ජනතාව. ඒ කාගේ යහපත උදෙසාද? ජනතාවගේම යහපත උදෙසායි. ඒ කරුණ අප නිරන්තරයෙන් මතක තබා ගත යුතුයි,” යනුවෙන් අගවිනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















