ව්යාජ සමාජ මාධ්ය ගිණුම් උපයෝගී කරගනිමින් මෙරට විවිධ ජාතීන් හා ආගමික ප්රජාවන් අතර නොසන්සුන්තාවක් හා ගැටුම්කාරී වාතාවරණයක් ඇති කිරීමට දරන විනාශකාරී උත්සාහයන් කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව ඇති බවත්, ඊට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ බුද්ධි අංශ එක්ව පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් ප්රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්රී එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා අනාවරණය කළේ, මුස්ලිම් ජාතිකයන්ගේ නම් භාවිත කරමින් ව්යාජ ‘වට්ස්ඇප්’ සමූහ සකස් කර, ඉදිරි නොවැම්බර් මාසයේදී ශ්රී දළදා මාළිගාව ඇතුළු ප්රමුඛ බෞද්ධ සිද්ධස්ථානවලට ප්රහාර එල්ල කරන බවට නොමඟ යවනසුලු අසත්ය තොරතුරු පතුරුවමින් මහජන නොසන්සුන්තාව ඇති කිරීමට තැත්කළ 26 හැවිරිදි තරුණයෙකු ඉබ්බාගමුව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙරට මෙන්ම විදෙස්ගතව සිටින යම් යම් පිරිස් ව්යාජ ගිණුම් හරහා ක්රියාත්මක වෙමින් ජාතික සමගියට හා අභ්යන්තර ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි වෛරී ප්රකාශ ව්යාප්ත කිරීමේ ප්රවණතාවක් පවතින බවත්, පසුගිය වසර 10 තුළ වෛරී ප්රකාශ පැතිරවීම සම්බන්ධයෙන් CID සහ ත්රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් පැමිණිලි 6ක් ඔස්සේ පරීක්ෂණ පවත්වා ඇති බවත් මෙහිදී හෙළි විය. විදෙස් රටවල සිට මෙහෙයවන ගිණුම්, නිල පැමිණිලි නොලැබීම සහ පවතින නීතිමය රාමුවේ සීමාවන් වැනි ප්රායෝගික බාධා පැවතියද, ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන මෙවැනි සංවිධානාත්මක අන්තර්ජාල අපරාධකරුවන් නිශ්චිතව හඳුනාගෙන නීතිය හමුවට පැමිණවීමට පොලිසිය අඛණ්ඩව ක්රියාකරමින් සිටියි.
ජාතික හා ආගමික සහජීවනය බිඳහෙළීමේ අරමුණින් සමාජ මාධ්ය අවකාශය තුළ ක්රියාත්මක වන මෙම ව්යාජ ගිණුම් ජාලයන් මුළුමනින්ම මර්දනය කිරීම සඳහා ඉදිරියේදී දැඩි නීතිමය ප්රතිසංස්කරණ සහ සයිබර් විමර්ශන යාන්ත්රණයන් ශක්තිමත් කිරීමට රජය පියවර ගනු ඇත. අසත්ය සහ වෛරී ප්රචාරයන්ට නොරැවටී තොරතුරු තහවුරු කරගන්නා ලෙසත්, ජාතිවාදී හා ආගම්වාදී නොසන්සුන්තා ඇති කිරීමට තැත්කරන ඕනෑම සැකකටයුතු සමාජ මාධ්ය ක්රියාකාරකමක් පිළිබඳව වහාම නීතිය ක්රියාත්මක කරන බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.














