2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ සමස්ත භාණ්ඩ, සේවා සහ ආදායම් මත පනවා ඇති බදු බර ඉහළ ගියද, සිගරට් මත පනවන ඵලදායී බදු කොටස සූක්ෂ්ම ලෙස පහත වැටීමක් සිදුව ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 2021 සිට 2026 දක්වා කාලය තුළ සිගරට් එකක සිල්ලර මිලෙහි බදු කොටස සාමාන්‍යයෙන් ප්‍රතිශත ලක්ෂ්‍ය 7.2කින් පහත වැටී ඇති අතර, ඒ හේතුවෙන් රජයට වසරකට රුපියල් කෝටි 1,730ක දැවැන්ත මූල්‍ය අලාභයක් සිදුවෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව සිගරට් සිල්ලර මිලෙන් 75%ක් බදු වශයෙන් අය කරගත යුතු වුවද, 2018 වසරේ 74%ක්ව පැවති මෙම බදු ප්‍රතිශතය 2026 වන විට 66.8% දක්වා පහළ ගොස් තිබේ.
මෙම අලාභයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ සිගරට් නිෂ්පාදකයින් මිල ඉහළ නංවන විට, ඒ අනුරූපව රජයේ ස්ථාවර සුරාබදු (Excise Tax) සංශෝධනය කිරීමට බලධාරීන් දක්වන උදාසීනත්වයයි. වැට් බද්ද මෙන් නොව, සුරාබද්ද උද්ධමනයට අනුව ස්වයංක්‍රීයව ඉහළ නොයන බැවින්, බලධාරීන්ගේ සක්‍රීය මැදිහත්වීමකින් තොරව මෙම බදු කොටස ස්වභාවිකවම ගිලිහී යයි. සරලව කිවහොත්, සිගරට් සඳහා වියදම් කරන සෑම රුපියල් දොළහකින්ම රුපියල් නවයක් බදු ලෙස රජයට ලැබිය යුතු වුවත්, මේ වන විට ලැබෙන්නේ රුපියල් අටක් පමණි. රජයට අහිමි වන මෙම රුපියල් කෝටි 1,730ක මුදල ආපදා කළමනාකරණය හෝ පෝෂණ වැඩසටහන් වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සඳහා වෙන් කළ හැකිව තිබූ අතිරේක අරමුදල් බව ආර්ථික විචාරකයෝ පෙන්වා දෙති.
මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව, මුදල් අමාත්‍යවරයාගේ බලතල මත ගැසට් නිවේදනයක් හරහා සුරාබද්ද සංශෝධනය කර බදු කොටස යථා තත්ත්වයට පත් කළ හැකි බව පෙන්වා දෙන විශේෂඥයෝ, එමගින් ජාතික භාණ්ඩාගාරයට විශාල ආදායමක් ලැබෙනවා පමණක් නොව අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවා ඇති බදු බර අඩු කිරීමට ද ඉඩ සැලසෙන බව අවධාරණය කරති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ රාමුගත සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තබා තිබියදීත්, මෑතකාලීන බදු ප්‍රතිපත්ති ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කිරීම බරපතල ප්‍රතිපත්තිමය අසාර්ථකත්වයක් ලෙස දේශපාලන හා ආර්ථික විචාරකයෝ හඳුන්වා දෙති.
















