ශ්‍රී ලංකාව තුළ සිගරට් (දුම්වැටි) සඳහා පනවා ඇති බදු ප්‍රතිශතය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශිත මට්ටමට වඩා පහත වැටීමට ඉඩහැරීම හේතුවෙන් රටේ සමස්ත ආර්ථිකයට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිරූපයට එල්ල වී ඇති බරපතළ බලපෑම පිළිබඳව ආර්ථික විශ්ලේෂකයන් විසින් කරුණු රැසක් අනාවරණය කර තිබේ. දුම්වැටි මත නිසි පරිදි බදු නොපැනවීමේ (Under-taxing) වඩාත්ම ක්ෂණික සහ අහිතකර ප්‍රතිඵලය වන්නේ රජයට උපයාගත හැකිව තිබූ මහා පරිමාණ ජාතික ආදායම රටට අහිමි වී යාමයි.
ලැබී ඇති දත්ත අනුව, දුම්වැටි පරිභෝජනය 2025 වසරේ පැවති මට්ටමේම අඛණ්ඩව පැවතුනහොත්, සිගරට්වල සිල්ලර මිලෙහි කිසිදු වෙනසක් නොකර එහි අඩංගු බදු ප්‍රතිශතය නැවතත් සියයට 75 (75%) දක්වා ඉහළ නැංවීමෙන් පමණක් 2026 වත්මන් වර්ෂය තුළ රජයට රුපියල් කෝටි 1,730ක (LKR 17.3 Billion) අතිරේක වාර්ෂික ආදායමක් සෘජුවම උපයාගත හැකිය. මෙම මහා ධනස්කන්ධය යනු වත්මන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සමස්ත අයවැය මෙන් 1.2 ගුණයක් වන අතර, රටේ දරුවන්ගේ සහ මවුවරුන්ගේ මන්දපෝෂණය පිටුදැකීමේ ජාතික පෝෂණ අයවැය මෙන් 1.3 ගුණයකට සමාන මුදලකි. රජය මෙම බදු මුදල නිසි පරිදි එකතු කරගත්තේ නම්, රටේ පොදු මහජනතාව පීඩාවට පත් කරමින් පනවා ඇති අනෙකුත් වක්‍ර බදු වර්ග පවා සැලකිය යුතු ලෙස අඩු කිරීමට අවස්ථාව තිබුණි.
ආර්ථික පාඩුවට අමතරව, ශ්‍රී ලංකාව දුම්කොළ පාලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය හමුවේ ලබාදී ඇති ප්‍රතිපත්තිමය පොරොන්දු ද මේ වන විට සම්පූර්ණයෙන්ම කඩකර ඇති බව හෙළිවේ. ශ්‍රී ලංකා රජය විසින් 2003 වසරේ නොවැම්බර් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ “දුම්කොළ පාලනය පිළිබඳ රාමුව” (WHO Framework Convention on Tobacco Control) නිල වශයෙන් අපරානුමත (Ratified) කරන ලදී. එම සම්මුතියේ 6 වැනි වගන්තියේ (Article 6) පැහැදිලිවම සඳහන් වන්නේ රටේ පවතින උද්ධමනයට සහ පුද්ගල ආදායම් වර්ධනයට සාපේක්ෂව දුම්වැටි බදු ද අඛණ්ඩව ඉහළ නැංවිය යුතු බවයි. එහෙත් ශ්‍රී ලංකාවේ වත්මන් බදු ප්‍රතිපත්තිය එම ජාත්‍යන්තර එකඟතාවන්ට සෘජුවම පටහැනිව, ප්‍රතිපත්තිමය වශයෙන් සම්පූර්ණයෙන්ම ආපස්සට ගමන් කරමින් දුම්කොළ සමාගම්වලට රහසිගතව වාසි සලසා දෙන මට්ටමකට පත්ව ඇති බව ආර්ථික විශේෂඥයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.
















