ලංකාවේ සිගරට් කර්මාන්තය වෙත පනවා ඇති බදු ප්‍රතිපත්තිය සහ එමගින් රාජ්‍ය භාණ්ඩාගාරයට සිදුවන බව කියන බරපතල මූල්‍ය පාඩුව සම්බන්ධයෙන් මේ වන විට ජාතික ආර්ථික විශ්ලේෂකයන්ගේ දැඩි අවධානය යොමුව තිබේ. ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පරිදි සිගරට් එකක් සඳහා 75%ක බද්දක් අය කළ යුතු වුවද, දැනට ක්‍රියාත්මක වන්නේ 68%ක බද්දක් පමණක් බව පෙන්වා දෙයි. මෙම ප්‍රතිශත පරතරය හේතුවෙන් වාර්ෂිකව රජයට රුපියල් බිලියන 17.3ක බදු ආදායමක් අහිමි වන බව එම වාර්තාව තහවුරු කරයි.
කෙසේ වෙතත්, මෙම බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ නිෂ්පාදකයන්ගේ පිරිවැය වාර්තා පිළිබඳව මේ වන විට ආර්ථික විශේෂඥයන් සහ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන විසින් දැඩි ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතී. කර්මාන්ත ශාලා නිෂ්පාදන පිරිවැය ලෙස එක් සිගරට්ටුවක් සඳහා රුපියල් 50කට අධික මුදලක් වැය වන බව සමාගම් ප්‍රකාශ කළද, එය තාර්කිකව පිළිගත නොහැකි බව විවේචකයෝ පෙන්වා දෙති. ලෝකයේ ඉහළම ගුණාත්මකභාවයකින් යුත් සිගරට් දියුණු රටවල විකුණනු ලබන්නේ ද මෙවැනි පිරිවැයක් යටතේ නොවන අතර, ලංකාවේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ පිරිවැය අතර පවතින මෙම අසමානතාවය බදු වාසි ලබා ගැනීම සඳහා සිදුකරන කෘතිම පිරිවැය ඉහළ දැමීමක් විය හැකි බවට සැක පළ වේ. පවතින ඒකාධිකාරී වෙළඳපොළ තත්ත්වය මත නිෂ්පාදන පිරිවැය පිළිබඳ ස්වාධීන විගණනයක් සිදුකිරීමට රජය අපොහොසත් වී තිබීම, මහජන මුදල් අහිමි වීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත.
















