ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්වැටි සඳහා නිර්දේශ කර ඇති බදු ප්‍රතිපත්තියට වඩා බෙහෙවින් අඩු බදු ප්‍රතිශතයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව නවතම දත්ත මගින් තහවුරු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ දුම්වැටිවල සිල්ලර මිලෙන් අවම වශයෙන් 75%ක් බදු ලෙස අය කර ගත යුතු බවයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ වත්මන් බදු ප්‍රතිශතය පවතින්නේ 67%ත් 69%ත් වැනි අවම මට්ටමකිනි.
මෙම අසමත්කම හේතුවෙන් ජාතික ආර්ථිකයට ලැබිය යුතු විශාල බදු ආදායම් ප්‍රමාණයක් අහිමි වන අතරම, දුම්වැටි සමාගම් සිය ලාභාංශ අඛණ්ඩව ඉහළ නංවා ගනිමින් සිටී. බදු ප්‍රතිපත්තිය නිසි ලෙස ස්ථාපිත නොකිරීම හරහා දුම්පානයට ඇබ්බැහි වූවන් පාලනය කිරීමට ඇති අවස්ථාව ද ගිලිහී ගොස් ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටමට බදු ප්‍රතිශතය ඉහළ නැංවීම මගින් දුම්වැටි පරිභෝජනය අඩු කර ගැනීමට මෙන්ම රජයේ බදු ආදායම ද සැලකිය යුතු මට්ටමකින් වර්ධනය කර ගැනීමට හැකි බව ආර්ථික විශේෂඥයින් සහ සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
















