එල් නිනෝ තත්ත්වය ඇතුළු දේශගුණික විපර්යාස හමුවේ මෙරට දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රතික්‍රියාශීලී අර්බුද කළමනාකරණයෙන් ඔබ්බට ගොස් පූර්ව සූදානම් පාලන ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතු බව ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී අවධාරණය කර ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම සංසදයේදී කෘෂිකර්මාන්තය, ජල කළමනාකරණය, වනජීවී සංරක්ෂණය, අලි – මිනිස් ගැටුම සහ ආපදා කළමනාකරණය ඇතුළු කරුණු රැසක් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා වී තිබේ. මෙහිදී බටහිර ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චරිත පට්ටිආරච්චි, අලි-මිනිස් ගැටුම පිළිබඳ අනුකමිටුවේ සභාපති ආචාර්ය සුමිත් පිලපිටිය සහ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න යන මහත්වරුන් විසින් විශේෂඥ වාර්තා සහ යෝජනා ඉදිරිපත් කර ඇති අතර, විද්‍යාත්මක දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සහ කල්තියා සූදානම් වීමේ ක්‍රමවේදවල වැදගත්කම මෙහිදී පෙන්වා දී ඇත.
















