ගල් අඟුරු මිලදී ගැනීමේදී භාවිත කරන ‘ස්පොට් ටෙන්ඩර්’ (Spot Tender) ක්‍රියාවලිය යනු සාමාන්‍ය මිලට වඩා වැඩි මිලක් ගෙවා සිදුකරන හදිසි මිලදී ගැනීමක් බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. පසුගියදා පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ නිසි වේලාවට ප්‍රසම්පාදන කටයුතු නිම නොකිරීම නිසා රජයට මෙලෙස වැඩි පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි.
ප්‍රසම්පාදන කටයුතුවල සිදුවූ දින 41ක ප්‍රමාදය හේතුවෙන්, වාරකන් කාලය ආරම්භ වීමට පෙර ගල් අඟුරු ලබාගැනීමට නම් වෙනත් රටවලට යන නැව් හරවාගෙන වැඩි මිලකට ස්පොට් ටෙන්ඩර් මඟින් ගල් අඟුරු ලබාගැනීමට සිදුව ඇත. මැයි 10-15 අතර වාරකන් කාලය ඇරඹෙන බැවින් ඊට පෙර ගොඩබෑම අවසන් කිරීම අත්‍යවශ්‍ය වේ.
ස්පොට් ටෙන්ඩර් සඳහා තෝරාගත් ඇතැම් සමාගම්වලට පසුගිය මාස 36ක කාලය තුළ ගල් අඟුරු සැපයූ පළපුරුද්දක් නොමැති බව විගණන වාර්තාවල සඳහන් වේ. එහෙත් හදිසි මිලදී ගැනීම්වලදී එවැනි නිර්ණායක දැඩි ලෙස සලකා නොබලන බව අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම පෙර පැවති සමාගම් ඒකාධිකාරය බිඳ දැමීම සඳහා තාපජනක බලය පිළිබඳ නිර්ණායක ලිහිල් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
නියමිත නැව් ප්‍රමාණය සැපයුම්කරුවන්ගෙන් නොලැබීම හේතුවෙන් විදුලි උත්පාදනය පවත්වාගෙන යාමට මෙම ක්‍රමය හැර වෙනත් විකල්පයක් රජයට නොමැති බවත්, සමස්ත ක්‍රියාවලියේ අක්‍රමිකතා සෙවීමට විමර්ශන කොමිසමක් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














