ශ්‍රී ලංකාවේ වෙරළ තීරයෙන් 75%ක් දේශීය හා විදේශීය කැණීම් සමාගම් වෙත විකිණීමට රජය සූදානම් වන බවට ‘දේශගුණික හා ආර්ථික යුක්තිය සඳහා වූ සාමූහිකය’ (CCEJ) චෝදනා කරයි.
මෙම ව්‍යාපෘතිය හරහා වෙරළ තීරය ඛනිජ සම්පත් කොල්ලයකට ලක්වනු ඇති බවත්, එමගින් සමුද්‍රීය පාරිසරික පද්ධති, ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ වෙරළාශ්‍රිත ප්‍රජාවන්ගේ ජීවනෝපායන්ට බරපතළ හානි සිදුවිය හැකි බවත් එම සාමූහිකය පෙන්වා දෙයි. විශේෂයෙන්ම කැස්බෑවන්ගේ වාසස්ථාන විනාශ වීම, භූගත ජල මට්ටම පහළ යාම සහ කැණීම් හේතුවෙන් සිදුවන පාරිසරික හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා දශක හයකට වැඩි කාලයක් ගත වීම සහ ඒ සඳහා රජයට දැරීමට සිදුවන අධික පිරිවැය පිළිබඳව ඔවුහු කනස්සල්ල පළ කරති.
හෙට (17) කොළඹදී පැවැත්වීමට නියමිත ‘ඛනිජ වැලි තාක්ෂණික සමුළුව’ පිළිබඳව ද CCEJ සංවිධානය ප්‍රශ්න කරයි. ලංකා වාණිජ මණ්ඩලය සහ ‘මිනරල් ටෙක්නොලොජීස් ඕස්ට්‍රේලියා’ (Mineral Technologies Australia) ආයතනය එක්ව සංවිධානය කරන මෙම සමුළුව, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
රජය විසින් මෙවැනි ව්‍යාපෘති සඳහා අවසර ලබා දීමට පෙර බලපෑමට ලක්වන ප්‍රජාවන්ගෙන් උපදෙස් ලබා ගත්තේ දැයි සහ පරිසර පද්ධතිවලට සිදුවන හානිය නිසි ලෙස තක්සේරු කළේ දැයි CCEJ සාමූහිකය වැඩිදුරටත් විමසා සිටියි.
















