කේරළයේ කොචින් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ශ්රී ලංකා වාණිජ මණ්ඩලය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම හා ආයෝජන ප්රවර්ධනය කිරීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. ශ්රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව (SLEIS) 2026 සඳහා සහභාගී වීමට මෙරටට පැමිණි කොචින් වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසකගේ සංචාරය අතරතුර කොළඹදී මෙම ගිවිසුමට අත්සන් තබා ඇත. කොචින් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය වෙනුවෙන් එහි හිටපු සභාපති හා විධායක කමිටු සාමාජික සී.එස්. කාර්තා ද, ශ්රී ලංකා වාණිජ මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති ක්රිෂාන් බලේන්ද්ර ද ගිවිසුමට අත්සන් තැබූහ.
මෙම අවබෝධතා ගිවිසුම මඟින් දෙරටේ ව්යාපාරික ප්රජාව අතර සෘජු සම්බන්ධතා ගොඩනැඟීම, වෙළෙඳ නියෝජිත කණ්ඩායම් හුවමාරු කර ගැනීම, ව්යාපාරික දූත මණ්ඩල සංචාර සංවිධානය කිරීම සහ විවිධ කර්මාන්ත ක්ෂේත්රවල සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා රාමුවක් සකස් කර ඇත. අන්යෝන්ය වාණිජමය වශයෙන් වැදගත් ක්ෂේත්ර හඳුනාගෙන කටයුතු කිරීම ද මෙහි අරමුණකි. ඉන්දියාවේ කේරළ ප්රාන්තය සහ ශ්රී ලංකාව අතර පවතින ව්යාපාරික සබඳතා ආයතනික මට්ටමින් ශක්තිමත් කිරීමට මෙම එකඟතාව මඟින් අවස්ථා සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්රී ලංකාව විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ නව වෙළෙඳ අවස්ථා පුළුල් කිරීමට උත්සාහ කරන පසුබිමක, මෙම ගිවිසුම දෙරටේ ව්යාපාර සඳහා නව වෙළෙඳපොළ වෙත ප්රවේශ වීමට මඟ විවර කළ හැකි පියවරකි. කෙසේ වෙතත්, එහි සැබෑ ආර්ථික ප්රතිලාභ තීරණය වනු ඇත්තේ ගිවිසුම යටතේ ක්රියාත්මක වන ව්යාපාරික වැඩසටහන්, නව හවුල්කාරිත්ව සහ සත්ය වශයෙන්ම සිදුවන වෙළෙඳ හා ආයෝජන ගනුදෙනු මතය. ඒ අනුව, මෙම සහයෝගීතාව ප්රායෝගික ආර්ථික ප්රතිඵල බවට පත් කර ගැනීම දෙපාර්ශ්වයේම ඉදිරි අභියෝගය වනු ඇත.
















