කොළඹ කේන්ද්ර කරගනිමින් ජාත්යන්තර මට්ටමේ මැණික් ප්රදර්ශන මධ්යස්ථානයක් (International Gem Hub) ඇතුළු පර්යේෂණ, රසායනාගාර, ප්රදර්ශන සහ සංචාරක හා ව්යාපාරික පහසුකම් සහිත මධ්යස්ථානයක් 2030 වසර වන විට ආරම්භ කිරීමට රජය කටයුතු කරමින් සිටින බව කර්මාන්ත හා ව්යවසාය සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්රකාශ කර තිබෙනවා.
අමාත්යවරයා මේ බව සඳහන් කළේ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්යාස ආයතනයේ (GJRTI) 2026 වාර්ෂික සහතික පත්ර ප්රදානෝත්සවයට එක්වෙමින්. එහිදී වෘත්තීය හා තාක්ෂණික පුහුණු පාඨමාලා සාර්ථකව නිම කළ සිසුන් 325 දෙනෙකුට NVQ 4, NVQ 5 සහ ඩිප්ලෝමා සහතික පත්ර ප්රදානය කර තිබෙනවා.
නිවැරදි රාජ්ය අනුග්රහය සහ නියාමනය යටතේ ශ්රී ලංකාව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ජාත්යන්තර ප්රමුඛස්ථානයකට ගෙන ඒම රජයේ අරමුණ බවයි අමාත්යවරයා පෙන්වා දී ඇත්තේ.
මැඩගස්කරය, කෙන්යාව, ටැන්සානියාව ඇතුළු අප්රිකානු රටවලින් රළු මැණික් මෙරටට ආනයනය කර, දේශීය ශිල්පීන්ගේ දක්ෂතා හා තාක්ෂණය යොදාගෙන අගය එකතු කළ උසස් තත්ත්වයේ ස්වර්ණාභරණ නිෂ්පාදනය කර ජාත්යන්තර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ හැකියාවද අමාත්යවරයා අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම රළු මැණික් ආනයනය හා අපනයනයේ පවතින බාධක ඉවත් කිරීම, ගුවන් තොටුපළ සහ රේගු පහසුකම් වැඩිදියුණු කිරීම හරහා මෙරට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ජාත්යන්තර ප්රමිතීන්ට අනුව තවදුරටත් ශක්තිමත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවද සඳහන්.














