කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සහ ජනතාවට වඩාත් සුවපහසු හා ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීමේ අරමුණින් මෙට්‍රෝ බස් සේවාව අද (29) සිට මාර්ග 7ක් ඔස්සේ පුළුල් කර තිබෙනවා.
මෙම නව සේවාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තලංගම මෙට්‍රෝ බස් ඩිපෝ පරිශ්‍රයේදී අද පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, මෙට්‍රෝ බස් සේවය ස්ථාපිත කිරීම සඳහා රජය රුපියල් බිලියන 7.5ක පමණ මුදලක් වැය කර ඇති බවයි.
මෙම සේවාව යටතේ නියමිත වේලාවන් සහ ස්ථානවලින් පමණක් බස් රථ ධාවනය කිරීම ඇතුළු වඩාත් සංවිධානාත්මක පොදු ප්‍රවාහන ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා. බස් ප්‍රමුඛතා මංතීරු ක්රමයද මෙට්‍රෝ බස් සේවාව සමඟ ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
කොළඹට ඇතුළු වන පෞද්ගලික වාහන සංඛ්‍යාව අඩු කරමින් පොදු ප්‍රවාහනය භාවිත කිරීමට ජනතාව වැඩි වශයෙන් යොමු කිරීම මෙහි ප්‍රධාන අරමුණක් බවද බිමල් රත්නායක මහතා පවසනවා.
ඉදිරියේදී යාපනය, මහනුවර සහ ගාල්ල ඇතුළු ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් මෙට්‍රෝ බස් සේවාව තවදුරටත් පුළුල් කිරීමටද සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
















