ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් ක්‍රියාත්මක වූ 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට වසර 48ක් පිරීමට ආසන්න වී ඇති මොහොතක, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය රජයේ දැක්ම සහ දෙමළ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරිත්වය මේ වන විට දේශපාලන කතිකාවතට ලක්ව තිබේ.
වත්මන් රජය සිය මැතිවරණ පොරොන්දු අතර වූ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ පොරොන්දුව තවමත් ඉටුකර නොමැති අතර, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ දරිද්‍රතාවය පිටුදැකීම වැනි කටයුතුවලට ප්‍රමුඛත්වය ලබාදීම නිසා ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය තාවකාලිකව මන්දගාමී වී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.
මේ අතර, ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලෙස බලය බෙදීමේ ක්‍රමවේදයක් අපේක්ෂා කරන දෙමළ දේශපාලන පක්ෂ, ඒ සඳහා වූ ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත් කිරීමේදී ද ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට නොපැමිණීම ගැටලුවක් වී තිබේ. දැනට උතුරු-නැගෙනහිර දෙමළ පක්ෂ අතර වෙන වෙනම ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කිරීමේ ප්‍රයත්න දෙකක් ක්‍රියාත්මක වේ. ඒ අතර දෙමළ පක්ෂ සියල්ල එකාබද්ධ කර පොදු කෙටුම්පතක් සකස් කිරීම සඳහා දෙමළ නීතිඥ සංසදය දරන උත්සාහය සහ ඊට සමගාමීව, යාපනයේ නල්ලූර්හිදී රැස්වූ ඊළම් දෙමළ ව්‍යවස්ථා සභාව විසින් කෙටුම්පත සකස් කිරීම සඳහා 33 දෙනෙකුගෙන් යුත් මෙහෙයුම් කමිටුවක් පත් කිරීම ද වේ.
මෙම පක්ෂ අතර පවතින දේශපාලන මතවාදී පරතරය – විශේෂයෙන්ම පළාත් සභා ක්‍රමය සහ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පවතින දැඩි මතභේද – ව්‍යවස්ථා යෝජනා ඒකාබද්ධ කිරීමට බාධාවක් වී ඇත. එක් පාර්ශ්වයක් පළාත් සභා ක්‍රමය අවසාන විසඳුම කරා යන ගමනේ පියවරක් ලෙස සලකන විට, අනෙක් පාර්ශ්වය එය පදනමක් ලෙස පවා පිළිගැනීමට මැළිකමක් දක්වයි.
මෙම අභ්‍යන්තර බෙදීම් රජයට සිය අභිමතය පරිදි කටයුතු කිරීමට ඉඩ සලසන අතර, දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ජාත්‍යන්තරය හමුවේ බෙදී ගිය සහ ක්‍රියාත්මක කිරීමට අපහසු ඉල්ලීම් ලෙස පෙන්වා දීමට එය හේතු විය හැකි බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි. එබැවින්, දෙමළ දේශපාලන පක්ෂ අතර අවම එකඟතාවයක් හෝ ගොඩනගා නොගැනීම, දිගුකාලීන දේශපාලන විසඳුමක් සාක්ෂාත් කර ගැනීමේ ගමනට විශාල අභියෝගයක් බවට පත්ව තිබේ.
















