ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ අංගසම්පූර්ණ වෛද්‍ය පීඨය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කර තිබේ. රත්නපුර නව නගරය ආශ්‍රිතව අක්කර 21ක භූමි භාගයක ඉදිකර ඇති මෙම වෛද්‍ය පීඨය, ශ්‍රී ලංකා රජය සහ සෞදි අරාබි රාජ්‍යයේ ඒකාබද්ධ මූල්‍ය දායකත්වයෙන් ඉදිවූවකි.
මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 1096ක් ද, සෞදි රාජ්‍යය ඇමෙරිකන් ඩොලර් මිලියන 50ක් ද ආයෝජනය කර ඇත. දැනට සිසුන් 750ක් පමණ අධ්‍යාපනය ලබන මෙම පීඨයට මෙම වසරේදී අලුතින් සිසුන් 162ක් බඳවාගෙන තිබේ.
නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම පරිශ්‍රය සතුව සිසුන් 500කට නේවාසික පහසුකම් සහිත නේවාසිකාගාරයක්, 1060ක ධාරිතාවකින් යුත් ශ්‍රවණාගාරයක් සහ විවිධ ධාරිතාවලින් යුත් දේශන ශාලා පහක් පවතී. මීට අමතරව කාර්ය මණ්ඩල නේවාසිකාගාර සහ ආපනශාලා ද මෙහි අන්තර්ගතය.
එමෙන්ම රත්නපුර ශික්ෂණ රෝහල ආශ්‍රිතව මහල් නවයකින් යුත් මහාචාර්ය ඒකකයක් ද ඉදිකරමින් පවතියි. ඇඳන් 418කින් සහ අංගසම්පූර්ණ රසායනාගාරවලින් සමන්විත එම ඒකකය වෛද්‍ය අධ්‍යාපනයට විශාල ශක්තියක් වනු ඇත.
වර්ෂ 2005දී සැලසුම් කර, 2019 වසරේ කුරුවිට සහ රත්නපුරයේ තාවකාලික ස්ථාන කිහිපයක ආරම්භ කළ මෙම වෛද්‍ය පීඨය, සිය වසර ගණනාවක සිහිනය සැබෑ කරගනිමින් මෙලෙස ස්ථිර මූලස්ථානයක ස්ථාපිත වීම සුවිශේෂී සිදුවීමකි.
















