ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (PMI) 2026 මාර්තු මාසයේදී දර්ශකාංක 57.1ක අගයක් වාර්තා කරමින් ඉදිකිරීම් අංශයේ වර්ධනයක් පෙන්නුම් කර තිබේ. පසුගිය මාසයට සාපේක්ෂව මෙම වර්ධනය තරමක් අඩු වේගයකින් සිදුවුවද, ක්ෂේත්‍රයේ ප්‍රගතියක් අඛණ්ඩව දක්නට ලැබෙන බව වාර්තා වේ.
මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඉන්ධන සහ අමුද්‍රව්‍ය හිඟය, පිරිවැය ඉහළ යාම සහ සැපයුම් සීමා වීම වැනි අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දීමට ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිදුව ඇත. ප්‍රධාන වශයෙන් ප්‍රවාහනය ආශ්‍රිත ප්‍රමාදයන් නිසා ඇණවුම් සැපයීමට ගතවන කාලය ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
නව ඇණවුම් ලැබීම තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර සැලසුම් කළ බඳවා ගැනීම් සහ මිලදී ගැනීම් ද අඛණ්ඩව සිදු කෙරේ. ඉදිරියේදී මිල තවදුරටත් ඉහළ යා හැකි බවට පවතින අපේක්ෂාව නිසා බොහෝ සමාගම් තොග එක්රැස් කර ගැනීමට උත්සාහ දරන බව ද සඳහන් වේ.
ඉදිරි කාර්තුව සඳහා වන අපේක්ෂාවන් යහපත් මට්ටමක පවතින නමුත්, පවතින ජාත්‍යන්තර අස්ථාවරත්වය හේතුවෙන් එම අපේක්ෂාවන්හි යම් අඩුවීමක් දක්නට ලැබෙන බව ද වාර්තාව පෙන්වා දෙයි.














