ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන, 2026 වසරේ වයස අවුරුදු 13න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන දිවයිනේ පාසල් 900ක් සඳහා අවශ්‍ය ක්‍රිකට් පන්දු ලබාදීමේ වැඩසටහන ආරම්භ කර ඇත. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවති මෙම මංගල අදියර යටතේ පළමු සහ දෙවැනි කාණ්ඩ නියෝජනය කරන පාසල් රැසක් සඳහා ක්‍රිකට් පන්දු බෙදා දී ඇති අතර, ඊට අමතරව අදාළ තරග කොන්දේසි සහ නීති රෙගුලාසි පිළිබඳවද පාසල් නියෝජිතයන් දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.
මෙම අවස්ථාවට සමගාමීව, වයස අවුරුදු 19න් පහළ බාලිකා පළමු කාණ්ඩයේ පාසල් ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ බාලිකා පාසල් සඳහා මූල්‍ය දීමනා ලබාදීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත. බාලිකා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් දිරිගැන්වීමේ සහ සංවර්ධනය කිරීමේ අරමුණින් අදාළ පාසල් වෙත ගමන් වියදම් දීමනා පිරිනැමීම සිදුකෙරුණු අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානීන් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.














