ප්‍රකට දෙමළ කවියෙකු සහ නවකතාකරුවෙකු වන දීපචෙල්වන් ප්‍රදීපන් මහතා රචනා කළ කෘති මෙරටට ආනයනය කිරීමෙන් පසු ශ්‍රී ලංකා රේගුව මගින් රඳවාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා සහ රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී පැන නැගී ඇති ගැටලුව වහාම විසඳා ගැනීමට දෙපාර්ශවයම එකඟතාවකට පැමිණ ඇත. රඳවාගෙන ඇති කෘති පහ සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ඒ පිළිබඳ නිර්දේශ ලබා ගැනීම සඳහා එම කෘතිවල පිටපත් මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු අවධාරණය කර ඇත්තේ මෙම කෘති භාරයට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නොව, ශ්‍රී ලංකා රේගු පනත යටතේ බවයි. ඉකුත් මාර්තු 18 වැනිදා දීපචෙල්වන් මහතාගේ කෘති පහකට අයත් පිටපත් 360ක් මෙලෙස රේගු භාරයට ගෙන ඇති අතර ඒ පිළිබඳව මාර්තු 27 වැනිදා ලේඛකයාට දැනුම් දී තිබේ.













