ලක් පොළොව මත්ද්‍රව්‍යවලින් සහ සංවිධානාත්මක අපරාධවලින් මුදාගැනීමේ තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව පවසමින් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කළු සෙවනැලි මැද සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කරයි. මෙතෙක් කාලයක් ඇතැම් බලවත් පුද්ගලයින්ගේ ආශිර්වාදය මධ්‍යයේ රට තුළ නිදහසේ ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය ජාලයන්ට තවදුරටත් ඉඩක් නොමැති බවත්, පොලීසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව එම ජාවාරම් ක්‍රමානුකූලව මර්දනය කරමින් සිටින බවත් ඔහු අවධාරණය කළේය. විශේෂයෙන්ම විදේශ රටවලට පැන ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා නීතිය හමුවට පැමිණවීමේ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ වී ඇති බවත්, මත්කුඩු මෝරුන් සහ එහි මහ මොළකරුවන් සියලු දෙනා ඉදිරියේදී නීතියේ දැලට හසුවනු කාටත් දැකගත හැකි වනු ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
මෙම අභ්‍යන්තර මෙහෙයුම්වලට සමගාමීව ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල ගෞරවය ජාත්‍යන්තරයට රැගෙන යාමට ද සුදුසු පරිසරයක් නිර්මාණය වෙමින් පවතී. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට සම්බන්ධ වී හයිටි රාජ්‍යයේ සේවය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ හා යුද හමුදාවේ සාමාජිකයින් 750 ත් 1000 ත් අතර පිරිසකට සුවිශේෂී අවස්ථාවක් හිමිව තිබේ. මේ සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡා දැනටමත් සාර්ථකව අවසන් කර ඇති අතර, ඉදිරි මාස දෙක තුන ඇතුළත අපේ විරුවන් හයිටි රාජ්‍යය බලා පිටත් කර යැවීමේ වැඩකටයුතු නිමා කිරීමට රජය අපේක්ෂා කරයි. මෙය වෘත්තීය දක්ෂතාවයන් ජාත්‍යන්තර තලයේදී ඔප්නැංවීමට ලැබෙන රන්මය අවස්ථාවක් වන අතරම මෙරට ආරක්ෂක අංශවල පවතින උපායමාර්ගික වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙසද සැලකිය හැකිය.
ආරක්ෂක අංශ තුළ පවතින යම් සාමාජික හිඟය මඟහරවා ගැනීමට උපායමාර්ගික පියවර ගන්නා අතරතුරම, තම දේශපාලන ගමන පිළිබඳව පැතිර යන කටකතාවලට ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී තිත තැබීය. කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමේ අදහසක් තමා තුළ නොමැති බවත්, එවැනි තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඔහු ඉතා සෘජුව ප්‍රකාශ කළේය. රටේ ආරක්ෂාව තහවුරු කිරීමත්, අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීමත් තම එකම අරමුණ බව පවසන ඔහුගේ මෙම ප්‍රකාශය, මත්ද්‍රව්‍යවලින් තොර සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් අපේක්ෂා කරන පොදු ජනතාවට මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය. යුක්තිය ඉටුවන තෙක් මේ සටන අඛණ්ඩව ඉදිරියටම යනු ඇත.













