ඊසානදිග මෝසම් වැසි ආරම්භ වීමත් සමඟ ඩෙංගු රෝගය පැතිරීම පාලනය කිරීමේ අරමුණින්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 62ක් ආවරණය වන පරිදි පස් දින විශේෂ ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් එළඹෙන සැප්තැම්බර් 14 වැනි දින සිට 19 වැනි දින දක්වා ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.
මෙම වැඩසටහන උතුරු, නැගෙනහිර, උතුරු මැද, බටහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වල අධි අවදානම් සහිත ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව, 2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 96,482ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 73කි. එහි මරණ අනුපාතය 0.076%ක් ලෙස සටහන් වේ. වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් අඩකට වඩා, එනම් 50,395ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, ඉන් ගම්පහ (රෝගීන් 20,527) සහ කොළඹ (රෝගීන් 19,074) දිස්ත්‍රික්ක දැඩි අවදානම් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබේ. මීට අමතරව, දකුණු පළාතෙන් රෝගීන් 13,740ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,093ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 5,590ක් ලෙස සැලකිය යුතු ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇති අතර, වසර මැද භාගයේදී මාසික දත්තවල තියුණු වැඩිවීමක් පෙන්නුම් කර ඇත.














