මෙරට තුළ ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඊයේ (12) දිනය වන විට වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,672 දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය 11 වැනිදා වන විට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 68,071ක් වූ අතර, ඊයේ (12) දිනය තුළ පමණක් අලුතින් රෝගීන් 601ක් වාර්තා වී තිබේ. ජූලි මාසයේ ගතවූ දින 12 තුළ පමණක් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 13,293කි.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. එම පළාතෙන් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 36,118ක් වන අතර, ඉන් වැඩිම දායකත්වයක් ගම්පහ (14,112) සහ කොළඹ (13,791) දිස්ත්‍රික්කවලින් ලැබී ඇත.
වසරේ ගතවූ කාලය තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ මාසය ලෙස ජුනි මාසය (21,538) වාර්තා වේ. කනගාටුදායක කරුණ නම්, මෙම වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් රෝගීන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබීමයි.
















