පසුගිය පැය 24 තුළදී මෙරටින් ඩෙංගු ආසාදිතයන් 1,025 දෙනෙකු වාර්තා වී ඇති අතර, මේ හේතුවෙන් රෝහල් වාට්ටුවල ධාරිතාව ඉක්මවා යාමට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි. විශේෂයෙන්ම ළමා රෝහල්වල වාට්ටු ද ඩෙංගු වැළඳුණු දරුවන්ගෙන් පිරී ගොස් ඇති බව ඒ මහතා සඳහන් කළේය.
මේ වන විට රට පුරා සමස්ත ඩෙංගු ආසාදිතයන් සංඛ්‍යාව 56,422ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ 35ක් ද වාර්තා වී තිබේ. පසුගිය ජූනි මාසයේ පමණක් රෝගීන් 21,556ක් වාර්තා වී ඇත. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ (02) සිට හෙට (04) දක්වා විශේෂ ඩෙංගු මර්දන දින 3ක් ප්‍රකාශයට පත් කර ඇති අතර, තමා ජීවත් වන අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට උපරිමයෙන් කටයුතු කරන ලෙස වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
















