ආසියානු කලාපීය රටවල මූල්‍ය ස්ථාවරත්වය සහ දේශීය ආදායම් උත්පාදන යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරගත් 15 වැනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද (17) ජපානයේ ටෝකියෝ නුවරදී නිල වශයෙන් ආරම්භ විය. කලාපීය ආර්ථික අභියෝග හමුවේ බදු ප්‍රතිපත්ති සහ පරිපාලන රාමු නවීකරණය කර ගැනීම කෙරෙහි කලාපීය ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය දිනා ඇති මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා විශේෂයෙන් සහභාගී වී සිටී.
ජාත්‍යන්තර බදුකරණයේදී මතුවන නව අභියෝග, ආසියානු කලාපයේ දේශීය ආදායම් රැස්කිරීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ බදු පරිපාලන ක්‍රියාවලීන් විධිමත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය වෙමින් පවතී. ගෝලීය අවිනිශ්චිත ආර්ථික වාතාවරණයක් තුළ රටක මූල්‍ය විනය තහවුරු කර ගැනීමට සහ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගැනීමට කලාපීය අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙහිදී ප්‍රධාන වශයෙන් අපේක්ෂා කෙරේ.
මෙම සමුළුව තුළින් ලබාගන්නා ජාත්‍යන්තර අත්දැකීම් සහ විශේෂඥ උපදෙස්, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ සහ බදු ප්‍රතිපත්ති වැඩපිළිවෙළ වඩාත් සාර්ථක කර ගැනීමට මහත් රුකුලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම සමුළුව අවසානයේ කලාපීය රටවල බදු ක්‍රමවේදයන්හි ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම සඳහා නව මඟ පෙන්වීම් රැසක් එළිදැක්වීමට නියමිතය.














