ශ්‍රී ලංකාව සඳහා නව ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කටයුතු මේ වන විට සාර්ථකව සිදු කෙරෙමින් පවතින අතර, ඒ සඳහා වන මූලික කෙටුම්පත මේ වන විට සකස් කර අවසන් කර තිබේ. එම කෙටුම්පත පිළිබඳව කරුණු විමසා බැලීම සහ අදාළ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා වූ මූලික සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලයේදී ඊයේ (29) පවත්වා ඇත.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති මෙම මෙහෙයුම් කමිටුව මගින්, ඉදිරියේදී දිවයිනේ පළාත් 9 ආවරණය වන පරිදි වෙන වෙනම සාකච්ඡා පවත්වා මහජනතාවගේ අදහස් ලබා ගැනීමට නියමිතය. මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වෛද්‍ය දයානාත් රණතුංග යන මහත්වරුන් ඇතුළු අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
















