දිවයිනට බලපා ඇති දරුණු වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින වනසතුන් උදෙසා ජලය සැපයීමේ විශේෂ මෙහෙයුමක් වනජීවී නිලධාරීන් සහ රාජ්‍ය බලධාරීන් එක්ව ආරම්භ කර තිබේ.
අම්පාර දිස්ත්‍රික්කයට අයත් බුද්ධංගල සහ ගල්ඔය නිම්න ඊසානදිග (අම්පාර අභයභූමිය) ප්‍රදේශවල සිඳීගිය වැව් සහ දියකඩවල් වෙත බවුසර් රථ මඟින් ජලය ප්‍රවාහනය කර පිරවීම මේ වන විටත් සිදුකෙරේ. දීර්ඝ කාලීන වියළි කාලගුණය නිසා ප්‍රදේශයේ බොහෝ ස්වාභාවික ජල මූලාශ්‍ර සිඳී යාමෙන් වනසතුන් දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, අම්පාර දිස්ත්‍රික් ලේකම් අනුපම මංගල වික්‍රමාරච්චි මහතාගේ ද සහයෝගය ඇතිව මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ. මීට අමතරව ලාහුගල ජාතික වනෝද්‍යානය ඇතුළු වනෝද්‍යාන රැසක මෙලෙස අඛණ්ඩව වනසතුන්ට ජලය සැපයීමේ කටයුතු සිදුකෙරෙමින් පවතී.














