විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව “ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව – 2026″ පිළිබඳව කොළඹ පිහිටි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (20) ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ දී පැවැත්විණි.
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කරනු ලබන මෙම ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව, **2026 ඔක්තෝබර් 12 සහ 13** යන දෙදින තුළ කොළඹ දී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ තිරසාර ආයෝජන සහ ආර්ථික වර්ධනය සඳහා පවතින අවස්ථා පුළුල් කිරීමත්, ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් සහ පෞද්ගලික අංශයේ සහභාගීත්වය ශක්තිමත් කිරීමත් මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වේ.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මගින් රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල වෙත සමුළුව සහ එහි අරමුණු පිළිබඳ සමස්ත අවබෝධයක් ලබා දුන් අතර, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සහභාගීත්වය සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන ලෙස දිරිමත් කරන ලදී.
මෙහි දී විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර මහතා අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන සඳහා වර්ධනය වෙමින් පවතින අවස්ථා සහ නැගී එන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව අවධාරණය කළේය. එමෙන්ම, ඉහළ මට්ටමේ රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයන් තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ඔහු, තිරසාර ආර්ථික වර්ධනය හා සංවර්ධනය මෙහෙයවීමේ දී පෞද්ගලික අංශය ඉටු කරන තීරණාත්මක කාර්යභාරය ද පෙන්වා දුන්නේය.














