ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය නවීන ඩිජිටල් යුගයට ගැලපෙන පරිදි පරිවර්තනය කිරීමේදී හුදෙක් යටිතල පහසුකම් සංවර්ධනයෙන් පමණක් නොනැවතී, ගුරුවරුන් ඒ සඳහා නිසි ලෙස පුහුණු කිරීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසන්නීය. ඩිජිටල් කාර්ය සාධක බලකායේ මෙහෙයවීමෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇය අවධාරණය කළේ, සියලුම ජාතික විද්‍යාපීඨවල ගුරුවරුන් ඉලක්ක කර ගනිමින් විධිමත් හා නවීන පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවයි.
අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේදී තාක්ෂණික මෙවලම් භාවිතයට අමතරව, නිර්මාණශීලී ඉගැන්වීම් අන්තර්ගතයන් (Content Development) සංවර්ධනය කිරීමට ගුරුවරුන් සතු කුසලතා වර්ධනය කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමුවිය යුතු බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. අනාගත පරපුරට ගෝලීය මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමට නම් ගුරුවරයා තාක්ෂණයෙන් සන්නද්ධ වීම අත්‍යවශ්‍ය සාධකයක් වන අතර, මෙම පුහුණු වැඩසටහන හරහා සමස්ත අධ්‍යාපන පද්ධතියේම ගුණාත්මක වෙනසක් ඇති කිරීම රජයේ අපේක්ෂාවයි.














