එල් නිනෝ (El Niño) කාලගුණික විපර්යාසය හේතුවෙන් එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාවට සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සිය නවතම වාර්තාව මගින් පෙන්වා දෙයි.
ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පැවැත්වෙන දෙවන අන්තර් මෝසම් කාලසීමාව සහ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා පවතින ඊසානදිග මෝසම් කාලසීමාව සමඟ මෙම තත්ත්වය එකතු වීමෙන් දිවයින පුරා දැඩි වර්ෂාපතනයක් සහ ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැක. මෙවර වාර්තා වන එල් නිනෝ තත්ත්වය ඉතිහාසයේ බලවත්ම කාලගුණික විපර්යාසයක් විය හැකි අතර එය 2027 වසර දක්වා ඇදී යාමේ අවදානමක් පවතියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආහාර, ඉන්ධන සහ පොහොර මිල ඉහළ යාම හමුවේ කෘෂිකර්මාන්තයට සහ ආහාර සුරක්ෂිතතාවයට දැඩි බලපෑම් එල්ල විය හැකි බැවින්, ඊට මුහුණදීමට කඩිනම් පූර්ව සූදානමක නිරත වන ලෙස FAO සංවිධානය රජයට සහ සෞඛ්‍ය/ආපදා අංශවලට අනතුරු අඟවයි.














